Posted on 1 Comment

උසස් පෙළ විෂය සංකලනය හරියටම තෝරන හැටි

අජිත් ජයවර්ධන

උසස් පෙළ විෂය සංකලනය හරියටම තෝරන හැටි ගැන ජ්‍යෙෂ්ඨ වෘත්තීය උපදේශක අජිත් ජයවර්ධන දක්වන අදහස් මෙහි ඉදිරිපත් කර ඇත. ” A/L කරන්නෙ මොනවා ද?” යැයි ඔබ දැනටමත් තීරණය කර ඇතත්, නැතත් ඔබගේ ඉදිරි අනාගතය නිවැරැදි මාවත වෙත යොමු කර ගැනීම සඳහා, අජිත් ජයවර්ධන මෙහි ලා ඉදිරිපත් කරන අදහස් අතිශයින් වැදගත් වේ. “උසස්පෙළ විෂය තෝරන්නේ කොහොමද?” යන්න පිළිබඳ ඔබව අලුතෙන් සිතන්නට පොළඹවන අදහස් ගොන්නක් මෙහි ගොනු වී ඇත.

විශ්වවිද්‍යාලයට යෑමට ඔබට හීනයක් තිබේ ද?

මේ ඔබේ තීරණාත්මක අවස්ථාවයි. ඔබේ සිහිනය පාට කර ගැනීමට අවස්ථාවයි. මෙතෙක් කල් ගත කළ ‘ෆැන්ටසි’ ලෝකයෙන් ඉවත් වී ඔබේ අනාගතය තීරණය කරන, අනාගතයේ දී ඔබ කවුරුන් වෙනවා දැයි තීරණය කරන, අඩු ගණනේ ඉදිරි වසර පහක කාලය සඳහා ඔබේ අනාගතය සැලසුම් කළ යුතු නියම මොහොත මෙයයි.

පළමුව, ඔබට සිහිනයක් තිබේ දැයි කල්පනා කරන්න. ඔබේ දෙමාපියන්ට නෑදෑයින්ට ඔබ ගැන සිහිනයක් තිබේ ද?

A/L කරන්නෙ මොනවා ද?

එය ඔබේ මිතුරන් නෑදෑයින් සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව නිතර විමසන පැනයක් විය හැකි ය. විශ්වවිද්‍යාලයට හෝ වෙනත් උසස් අධ්‍යාපන මාවතකට පිවිසීමට නම් විවිධ විෂය අතරින් උසස් පෙළ සඳහා විෂය සංකලනයක් තෝරා ගැනීමට සිදු වේ. ඇතැමෙකු ගණිතයට, තවවෙකකු විද්‍යාවට, තවත් අයෙකු තාක්ෂණවේදයට ආදී වශයෙන් විවිධ විෂයවලට ඇලුම් කරනවා විය හැකි ය. එහෙත්, ඔබේ තනි කැමැත්තට විෂය සංකලනයක් තෝරා ගත හැකි ද?

අම්මා මොකද කිව්වෙ? තාත්තා මොනව ද කියන්නෙ? එපමණක් නො වෙයි, යහලු යෙහෙළියන්ගේ ගුරුවර ගුරුවරියන්ගෙ, නෑදෑයින්ගේ මතය? මොවුන් දහසක් දේ ඔබට පවසාවි. ඔවුන් ගේ සිහින හා ඔබේ සිහින අතර ගැලපීමක් ඇත් ද?

විෂය ධාරාව තේරීමේ දී සැලකිය යුතු කරුණු

මෙහි දී මූලික වශයෙන් කරුණු 3ක් ගැන අවධානය යොමු කළ යුතු ය.

  1. ඔබේ කැමැත්ත මොකක් ද?
  2. ඔබේ කුසලතාව කුමක් ද?
  3. ඔබට ලැබෙන අවස්ථා මොනවා ද?

ඔබ කැමැති කුමන විෂයවලට දැයි අනිවාර්යෙන් සිතිය යුතු ය.

මන්ද, ඔබ දක්ෂ වන්නේ ඔබ කැමැති දේ ට ය. මේ නිසා,

උසස් පෙළ විෂය සංකලනය සඳහා ධාරාවක් තෝරා ගැනීමේ දී, ඔබට එසේ ආශාවක් ඇත්තේ කුමකට දැයි සිතා බැලිය යුතු ය.

ඔබේ කුසලතාව ඇත්තේ කුමකට දැයි දෙවනුව සලකා බැලිය යුතු ය. යම් විෂයයකට ඔබ කැමැති වීම පමණක් ප්‍රමාණවත් නො වේ. ඒ සඳහා ඔබට කුසලතාවක්, හැකියාවක් තිබිය යුතු ය. ඔබට සියලු විෂයවලට විශිෂ්ට සාමාර්ථ තිබෙනවා විය හැකි ය. ඇතැම් විෂයවලට එවැනි සාමාර්ථයක් ලබා ගත්තේ කෙතරම් මහන්සියකින් දැයි ඔබ දනී. එහෙත්, ඇතැම් විෂයවලට එසේ නොවේ. ඒවා ඔබට කිරි කජු වැනි ය. ඔබේ කුසලතාව ඇත්තේ එතැන ය.

තෙවැනි කරුණ වන්නේ, ඔබට ඇති අවස්ථාවන් ය. ලෝකය දිනෙන් දින වෙනස් වේ. කාලය අලුත් වන විට තාලය වෙනස් වේ. අද තියෙන රැකියා අවස්ථා හෙට ලෝකයේ නොවේ. ඒ වෙනුවට අලුත් අලුත් රැකියා අවස්ථා ඇති වේ. හෙට දවසේ සිදුවන වෙනස අපට අද දවසේ දැකිය හැකි විය යුතු ය. අධ්‍යාපනය යනු එයයි. හෙට දවසේ ඇතිවන ප්‍රවනතාවට ගැලපෙන මිනිසෙක් නිර්මාණය කිරීමට හැකි තීරණ අප අද දවසේ ගත යුතු ය. වැඩ ලෝකයේ අනාගතයේ දී ඇති විය හැකි අවස්ථා ගැන වර්තමානයේ දී නුවණැසින් විමසා ගැලපෙන තීරණය ගත යුතු ය.

උසස් පෙළ විෂය සංකලනය තෝරන ‌හොඳම විදිය මොකක් ද?

ඉහත කරුණු සලකා බලා ඔබ විෂය ධාරාවක් තෝරා ගත්තේ යැයි සිතමු. එහෙත් ඒ යටතේ තවදුරටත් තෝරා ගැනීම සඳහා විෂය කන්දරාවක් ඇත. භෞතීය විද්‍යා, හෝ ජීව විද්‍යා විෂය ධාරා සඳහා මෙය එතරම් අදාළ නොවන්නේ, එහි විෂය සංකලන සීමිත නිසා ය. උදාහරණයක් ලෙස ඔබ වෛද්‍යවරයෙකු වීමට අදහස් කරන්නේ නම්, ඇත්තේ එකම විෂය සංකලනයක් පමණි. එහෙත් කලා වැනි විෂය ධාරාවක් සැලකූ විට තෝරා ගත හැකි විෂය සංකලන ප්‍රමාණය අති විශාල ය.

එහි දී,

ඔබගේ විෂය ධාරාවට අදාළ අනිවාර්ය විෂය (බොහෝ විට විෂය දෙක) තෝරා ගත් පසු ඉතිරිය z-අගය ගැන සිතා තෝරා ගත හැකි ය.

වඩා වැදගත් ම දෙය වන්නේ විශ්වවිද්‍යාලයයේ දී ඔබ හැදෑරීමට අපේක්ෂා කරන පාඨමාලාව හෝ පාඨමාලාවලට අනුකූල වන පරිදි විෂය තෝරා ගැනීමයි.

විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත

University Admissions Handbook 2020/21.
ප්‍රථම උපාධි පාඨමාලා සඳහා ප්‍රවේශ අත්පොත

එක් එක් විශ්වවිද්‍යාල පාඨමාලාවට අදාළ උසස් පෙළ විෂය සංකලනය කුමක් දැයි දැන ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ප්‍රථම උපාධි පාඨමාලා සඳහා ප්‍රවේශ අත්පොත අනිවාර්යයෙන් පරිශීලනය කළ යුතු ය. මේ සම්බන්ධයෙන් වැදගත් වන්නේ එහි ‘2 කොටස’ ය.

1 thought on “උසස් පෙළ විෂය සංකලනය හරියටම තෝරන හැටි

  1. Most of our students loss their valuable time without selecting the proper career path in right time yet in our country. This discussion and video is a good explanation for our future generation as always, Well done Ajith Sir. This is highly appreciated.

Leave a Reply

Your email address will not be published.